wOHdmk mqj;a


Posted on 2024-03-01


Spark Coders තොරතුරු තාක්ෂණ පාඨමාලාව

Spark Coders තොරතුරු තාක්ෂණ පාඨමාලාව

සබරගමුව පළාත් සභාව සහ සබරගමුව විශ්ව විද්‍යාලය එක්ව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසල් දරු දැරියන් සඳහා තොරතුරු තාක්ෂණ සන්නිවේදන සහතික පත්‍ර සහ ඩිප්ලෝමා වැඩසටහනක් ආරම්භ කල බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා අද (2024/03/01) සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (202/03/01) රත්නපුර කේතුමතී උත්සව ශාලාවේ පැවති සබරගමුව පළාත් සභාව සහ සබරගමුව විශ්ව විද්‍යාලය යන පාර්ශව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. Spark Coders ලෙස නම් කර ඇති මෙම තොරතුරු තාක්ෂණ පාඨමාලාවට අදාළව අවබෝධතා ගිවිසුමට සබරගමුව පළාත් සභාව වෙනුවෙන් සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා ද සබරගමුව විශ්ව විද්‍යාලය වෙනුවෙන් උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ද ඊට අත්සන් තැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ සබරගමුව පළාත් සභාව මගින් මෙම තොරතුරු තාක්ෂණ පාඨමාලාවට අමතරව British Council සමඟ එක්ව පළාතේ සියලු ඉංග්‍රීසි ගුරු භවතුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාවක් ද ආරම්භ කර ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා සඳහන් කළේ ය. තොරතුරු තාක්ෂණ පාඨමාලාව සඳහා රුපියල් ලක්ෂ 500 ක් සහ British Council පාඨමාලාව සඳහා රුපියල් ලක්ෂ 500 ක් සබරගමුව පළාත් සභාව මගින් ලබා දීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා විසින් මෙම වර්ෂයට රජයේ ප්‍රතිපාදන මගින් ලබා දී ඇත.

අද (2024/03/01) www.sparkcoders.lk වෙබ් අඩවිය සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා අතින් සයිබර් අවකාශයට මුදා හරිනු ලැබී ය. සබරගමුව පළාත් සභාව සහ සබරගමුව විශ්ව විද්‍යාලය එක්ව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසල් දරු දැරියන් සඳහා මෙදින (01) ආරම්භ කල තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහතික පත්‍ර සහ ඩිප්ලෝමා වැඩසටහන සඳහා www.sparkcoders වෙබ් අඩවියට ප්‍රවේශ වී ලියාපදිංචි විය හැකි ය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ මධ්‍යස්ථාන 28 ක මෙම පාඨමාලාව හැදෑරීමට සබරගමුවේ පාසල් දරු දැරියන් හට අවස්ථාව පවතී.

10 – 11 – 12 - 13 යන වසරවල දරුවන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර තොරතුරු තාක්ෂණ සහතික පත්‍රය මාස හතරකින් හැදෑරිය හැකි අතර ඒ සඳහා SLQF 1 ද එය සමත් වන අයට SLQF III පාඨමාලාවද හැදෑරීමට හැකියාව පවතී. SLQF III යනු ජාතික විශ්ව විද්‍යාලයක දෙවන වසර සමත් වීමට සමාන සුදුසුකමකි. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ,පළාත් අධ්‍යාපන නිලධාරීන් ,සබරගමුව විශ්ව විද්‍යාලයේ නිලධාරීන් තෝරා ගත් පාසල් හි සිසු සිසුවියන් ඇතුළු තවත් පිරිසක් සහභාගි විය.