wOHdmk mqj;a


Posted on 2023-12-20


British Council ඉංග්‍රීසි භාෂා පුහුණුව

සබරගමුවේ ගුරුභවතුන් 755 කට British Council මගින් ඉංග්‍රිසි භාෂා පුහුණුව

සබරගමුව පළාත් සභාව සහ British Council ඒකාබද්ධව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම් කරන ගුරුභවතුන් 755 ක් සදහා ඉංග්‍රිසි භාෂා ප්‍රගුණතා පාඨමාලාවක් ආරම්භ කළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනිතිඥ නවින් දිසානායක මහතා අද (2023/12/20) සදහන් කළේය.
ඒ මහතා මේ බව සදහන් කළේ එදින (20) රත්නපුර කේතුමතී උත්සව ශාලාවේ දී පැවති මෙම ඉංග්‍රිසි ප්‍රගුණතා පාඨමාලාවේ ගිවිසුම්ගතවීමේ අවස්ථාවට එක් වෙමිනි.

එම ගිවිසුමට සබරගමුව පළාත් සභාව වෙනුවෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් චාමර බමුණුආරච්චි මහතා ද, British Council ආයතනය වෙනුවෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ Orlando Edwards මහතා ද අත්සන් කරනු ලැබීය.
මාස හයක පාඨමාලාවක් වන මෙය, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි ඉංග්‍රිසි ගුරුවරුන්හට සහභාගී වීමට හැකි වන පරිදි සකස් කර ඇත. මේ සඳහා සබරගමුව පළාත් සභාව වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 500 කි.

මෙහි දී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා මෙසේ පැවසී ය. භෞතික සම්පත් සංවර්ධනයට සමගාමීව මානව සම්පත සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම මාගේ අරමුණයි. ඒ නිසා සබරගමුව පළාතේ ඉංග්‍රීසි ගුරුභවතුන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම සඳහා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කවුන්සිලය සමග ගිවිසුම්ගත වීමට මා කටයුතු කලා. ඒ සඳහා රුපියල් ලක්ෂ 500 ක් මම වෙන් කලා. බ්‍රිතාන්‍ය කවුන්සිලය හා සබරගමුව පළාත් සභාව අතර ඇති කරගත් මෙම ගිවිසුම කැබිනට් අනුමැතියට යටත්ව එළඹුනේ. අපි වර්ෂ 133 ක් ඉංග්‍රීසි අධිරාජ්‍ය යටතේ පාලනය වූ රාජ්‍යක්. වර්ෂ 1948 න් පසුව ද අපි ඉංග්‍රීසි භාෂාව භාවිතය අඛණ්ඩව රැගෙන ආවා. ලෝකයේ ඉංග්‍රීසි භාෂාව බිලියන 1.4 ක් ද, චීන භාෂාව බිලියන 1 කට වඩා ඉහළ අගයක් ද, ඉන්දියාවේ ජනගහනය බිලියනයක් වුවත් හින්දු භාෂාව භාවිතා කරන්නන් මිලියන 700 ක් ද සිටී. අපි පටන් ගත්ත මෙම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමේ වැඩමුළුව නියමු ව්‍යාපෘතියක්. මෙහි සාර්ථකත්වය මත එය දීප ව්‍යාප්තව දිවයින පුරා ආරම්භ කරනවා. ලබන වර්ෂයේ මිලියන 50 ක් වැය කර සබරගමුව විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධ වී තොරතුරු තාක්ෂණ වැඩසටහනක් සබරගමුව පළාත් සභාව මගින් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. ඒ හරහා සබරගමුවේ තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්හට විශේෂ පුහුණුවක් ලබා දීමට අපි පියවර ගන්නවා.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.