රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘතියක් මඟින් සූර්‍ය බලශක්ති උපයෝගී කොට මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
එම ව්‍යාපෘතිය යටතේ සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක සූර්ය බලය මඟින් ජනනය කළ ප්‍රථම විදුලිබල සැපයුම ජාතික විදුලිබල පද්ධතියට (ලංකා විදුලිබල මණ්ඩලයට) එක් කිරීම අද (2024/11/19) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අතින් රත්නපුර කුමර විද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.
මෙම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරී සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘතිය මේ වන විට සබරගමුව, ඌව, දකුණ, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් හත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකය.
මේ සඳහා ඒ ඒ පළාත්වල පළාත් සභා සහ GAIA GREENENERGY HOLDINGS යන ආයතනය එක්ව රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව ඒ ඒ පළාත්වල පාසල්, රෝහල් ඇතුළු රාජ්‍ය ආයතනවලට අයත් ගොඩනැඟිලිවල වහල මත සූර්‍ය බලශක්ති පැනල සවි කෙරේ.
සබරගමුව පළාත තුල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී මේ සදහා සබරගමුව පළාත් සභාව සතු පාසල් වල ගොඩනැගිලි වහල ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ.
ඊට අදාළව සෙසු සූර්යබල ශක්ති ජනක පද්ධතිද අදාළ ආයතන පරිශ්‍රය තුළ සවි කර ඉන් ජනනය වන විදුලිය ජාතික විදුලිබල පද්ධතිය (ලංකා විදුලිබල මණ්ඩලය) වෙත මුදා හැරේ.
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක මෙම සූර්යබල විදුලි ජනන ව්‍යාපෘතිය සදහා GAIA GREENENERGY HOLDINGS යන ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැය කරයි.
ඒ තුළින් ජනනය කරන විදුලිබලය මෙගාවොට් 300ක් වේ.
මේ යටතේ ජනනය වන විදුලිබල මඟින් ඉපයන මුදලින් 16%ක් පමණ ඒ ඒ පළාත් සභා වෙත මාසිකව ලබා දේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් හා ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් බී.ඒ.සී.පී.බමුණුආරච්චි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩබ්.සමන්තිලක, සැලසුම් අධ්‍යක්ෂක නෙවිල් කුමාරගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනී ඉද්දමල්ගොඩ, GAIA GREENENERGY HOLDINGS හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී චතුර විදානගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.